DirectorsMessage-DW

ලංකාවේ විශාලතම තෘතීයික මානසික සෞඛ්‍ය පිළිබඳ රෝහල වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIMH) නව හා වැඩිදියුණු කළ වෙබ් අඩවියට ඔබ සැවොම සාදරයෙන් පිළිගනිමි.

2015 අග භාගයේ මා අධ්‍යක්ෂක ධුරයට පත්වූ දා සිට, මගේ කාර්ය මණ්ඩලයේ දැනුම, කුසලතා සහ ආකල්ප මෙන්ම රෝගීන් සඳහා යටිතල පහසුකම් ගොඩනැඟීමේ ක්‍රියාකාරකම් සඳහා මම මගේ කාලය ආයෝජනය කර ඇත්තෙමි. ඉදිරි වසරවලදී මෙම ප්‍රධාන ආයතනයේ සහ එහි  කාර්ය මණ්ඩලයේ දෘශ්‍යතාව වැඩි දියුණු කිරීමට මම අදහස් කරමි. මෙම වෙබ් අඩවියේ නව ආරය මාගේ අරමුණ සඳහා නිසැකවමඋපකාරී වනු ඇත

NIMH යනු මානසික ආබාධවලින් පීඩා විඳින පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ මානසික යහ පැවැත්ම ප්‍රවර්ධනය, රෝග වැළැක්වීම, ප්‍රතිකාර සහ සත්කාර කිරීම මෙන්ම පුනරුත්ථාපනය සිදු කරමින් සිටින සදාකල් කාර්යය බහුල සුවිශේෂී ආයතනයකි. NIMH හි ගොඩනැඟී ඇති කණ්ඩායම් සංස්කෘතිය සහ එකමුතුකම ආයතනයක් ලෙස අපගේ සාර්ථකත්වයේ රහස බව හද පිරි සතුටින් යුතු ව සඳහන් කරමි.

කාර්ය මණ්ඩල පුහුණුව, කණ්ඩායම් හෑඟීම වැඩිදියුණු කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය යනාදී ප්‍රධාන  අංශවලට අමතරව වසර පුරා විහිදෙන සුවිශේෂී කැපී පෙනෙන අවස්ථා රාශියක් ඇත. ලෝක මානසික සෞඛ්‍ය දිනය වැනි ප්‍රජා මූලික ක්‍රියාකාරකම් සඳහා මෙන්ම වාට්ටු වල කටයුතු සඳහා ද ප්‍රජා සහයෝගය සහ දායකත්වය විශාල වශයෙන් අපි දැක ඇත්තෙමු. මෙම වෙබ් අඩවියේ ඔබට දැකිය හැකි අතරමැදි නිවස්නයේ බාහිර පෙනුම සහ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා සිදු කළ බොහොමයක් කටයුතු එලෙස ප්‍රජා මැදිහත් වීමෙන් සිදු වූ ඒවා බව සතුටෙන් සඳහන් කරමි.  

පැය 24 පුරාම වෙහෙස මහන්සි වී වැඩ කරන 1200ක් වූ පූර්ණ කාලීන කාර්ය මණ්ඩලයේ කැපවීමකින් තොරව මෙම ක්‍රියාකාරකම් කිසිවක් කළ නොහැකිය. අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හැරුණු විට අපගේ විශෙෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, පරිපූරක සහ අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලය, පරිපාලන කාර්ය මණ්ඩලය, වෙනත් කාර්ය මණ්ඩලය මෙන්ම සහායක කාර්ය මණ්ඩලයේ කැපවීම අගය කළ යුතුමය

අපගේ වෙබ් අඩවියට පිවිසීමට පමණක් නොව නොව, මානසික රෝග සහිත පුද්ගලයින් සඳහා ඔබ සතු කාර්යභාරය පිලීබඳ ව සිතා බැලීමටත් මම ඔබට ආරාධනා කරමි.

වෛද්‍ය ධම්මිකා විජේසිංහ

අධ්‍යක්ෂ, NIMH

10.10.2020

Is there any error in the information? Please email us.